පසුබිම

“ආයතී චන්ද්‍රිකා දිසානායක”. පුතෙක් ඉපදෙනකන් බලාන උන්න සිංහල තාත්තෙකුයි දෙමල අම්මා කෙනෙකුයි මට තිව්ව නම තමයි ඒ. දෙමළෙන් පුංචි නම් කෑල්ලකුත් එකතු කරන්න අප්පච්චිට ලොකු ආසාවක් තිබ්බට, කොටට කොටේ තියෙන මගේ කොන්ඩේ අග්ගිස්සේ ඉඳන් කකුලේ නියපොත්තට යනකන්ම මං සිංහල කෙල්ලෙක් වෙන්න ඕනේ කියලා අපේ අම්මා තීන්දු  කරලා තිබුණේ මං ඉපදෙන්නත් කලිනුයි. අන්තිමේ අමු සිංහල නමකින් මගේ දෛවය මාව සමාජයට හඳුන්වලා දීලා තිබුණා.

පුංචි කාලේ මම හිතාන උන්නේ පුංචි කාලේ එක නමකුයි, ලොකු වුනාට පස්සේ තව නමකුයි තියනවා වෙන්න ඇති කියලයි. ඔය අදහස හිතේ තියන් ඉඳලා, ඉඳලා, දවසක් දා ඔය විත්තිය අප්පච්චිගෙන් ඇහැව්වම ලාවට කට කොනකින්ම හිනා වෙලා මට කියැව්වෙ එහෙම වගක් නෑ කියලයි. අප්පච්චිගේ නම වුනේ රණබාහු දිසානායක, ඒ නම අප්පච්චිට පොඩි කාලේ ගැලපුනේ කොහොමද කියලා මොන විදින්වත් මට හිතාගන්න බැරි වුණා. පන්තිබාර මැඩම් “රණබාහු ඉන්නවද….?” කියලා හෝඩියේ පන්තියේ විතර ළමයෙකුගෙන් අහනහැටි මැවිලා පෙනෙනකොට නම් මටම හිනා. නම්ගම්වල වයස් භේදයක් ගැන එහෙම විගඩමක් ඔලුවේ තියාන උන්න මං හිතන් උන්නේ, මට ලොකු වෙලා දාන්න උන්න නම ඉපදෙනකොටම දාලා කියලයි. අතකින් චන්ද්‍රිකා කියන්නේ මං ඉස්කෝලේ යනකාලේ උන්න රටේ නායිකාවගේ නම, ඉස්කෝලේ යන ළමයෙක්ට ඒ නම කොහොම ගැලපෙයි ද?

පොඩිකාලේ මගේ නම කියන්න මටම ලජ්ජා හිතුනා. ඒ නම තැනකට ගිහින් කෙනෙක් ඉස්සරහා කියනකොට මට දැනුනේ නූල් පොටක් ඇඟේ නැතිව ටවුමේ මැද්දේ ඔරලෝසු කණුව ඉස්සරහ හිටගෙන ඉන්නවා වාගේ හැඟීමක්. ඉස්කෝලෙන් අවුට් වෙලත් සෑහෙන කාලයක් යනකල්ම, මගේ නම ආයතී චන්ද්‍රිකා කියලා කියනකොට මට දැනුනේ මම නිකන් නාකි ගෑනියෙක් වගේ කියලයි. “ආයතී” කියන්නේ ‘බලාපොරොත්තුව’, ‘හිත හිරකරවන දේවල්’ වගේම ‘පුතා’ කියන තේරුම වගත් මං දැනන් හිටියට, අප්පච්චි ඔය නම දැම්මේ මොන තේරුමින් ද කියලා මං අහන්න ගියේ නෑ. දැන් නම් නම විතරක් නෙවෙයි, ලබා උපන්න හැටි මහා ගොඩක් දේවල් යට සායේ ඇදිලා එල්ලෙන නූල් කෑල්ලක් තරම්වත් මං නං නෙවෙයි ගණනකට ගන්නේ.

කොටට කොටේ කොන්ඩේ කපලා ඉන්න ලේසියෙන්ම ලැබුණු අවසරේ තිබුණට, කරාබු ජෝඩුවක් නම් මට දාගෙන ඉන්නම වුණා. නුවර ඉස්කෝලෙකට යන්න ආසාව තිබ්බට මොකද, නුවර පළාතේ පස් පාගන්නවත් විදියක් තිබ්බේ නැති නිසා යන්න වුන කොළඹ බාලිකාවට අඳින්න සිද්ධ වුන ගවුම ඇඳගෙන ඉන්න වෙලාවට නම් මේ කරාබු ජෝඩුව අනිවාර්ය වුනේ නෑ. හැබැයි අනිත් වෙලාවට අම්මගෙන් කුණු බැනුම් අහගන්න බැරිකමට මේ අරුමෝසම් අටමගල් දෙක එල්ලගෙන ඉන්න මට සිද්ධ වුණේ ඒ දෙකෙන් තොරව මං කෙල්ලෙක් කියලා හිතාගන්න වෙන කිසිම සලකුණක් මගේ ගාව නොතිබිච්ච හින්දයි. කොහොම වෙතත් අම්මා අප්පච්චිගේ හිත සුව පිණිස අමාරුවෙන් ගැටගහගත්ත ජීවිතේට ඒ තරම් වැඩි ආයුෂ තිබුණේ නෑ.

මං කල්පනා කරා රටේ නැති දේවල්වලට වද වෙවී, කෙල්ලෙක් වගේ හැසිරෙන්න අමුතුවෙන් ඉගෙනගන්න සිද්ද වෙච්ච මං, ඔය එක ආච්චිගේ රෙද්දක්වත් ගණන් ගන්නේ නැතිව ඉන්න පුරුදු වුන හැටි ගැන ලියලා තියන්න. කොයි දේවල් ලියලා, මොන දේවල් අත අරින්න, හංගන්න ඕනෙද කියන බෙදුම් රේඛාව මම තවම ගහලා නෑ. හැබැයි මං එක දෙයක් දන්නවා.

කවදා හරි, බැරි වෙලාවත් හරි, අනිත් ගෑනුන්ට වගේ මටත් ළමයෙක් ඉපදුනොත්, ඒකිටවත් ඌටවත් ජීවිතේට මේ කතන්දරේ කියවන්න ඉඩ දෙන්න මට බැරි වෙයි! හැබැයි ඒ ළමයෙක් හිටියොත්නේ! ඒ ගැන බලාපොරොත්තු තියාගන්න එපා!

මෙතන ඉඳන් දිග ඇරෙන්නේ, ඉලන්දාරි ළමිස්සිගේ කතාවයි.

2 thoughts on “පසුබිම

  1. බ්ලොග් ලිවීම පටන් ගන්න ලේසියි, දිගටම කරගෙන යෑම තමයි අසීරු දේ.

    දිගු ගමනකට මගේ සුභ පැතුම්.

    මේ බ්ලොගය සින්ඩිකේටර්වලට එකතු කරවා ගන්න.

    Like

Leave a comment